සිරිත් මල්දම/සිරිත් මල්දම (3 කොටස)

From Wikisource
Jump to navigation Jump to search


01.

   සැමට සෙත් වඩවන
   සිරිත් මල්දම බලමින
   සිරිත් හොඳ     දැනගෙන
   මහත් යසසිරි ලබනු දෙලොවින

02.

   වැඩක නොයෙදූ සිත
   නරක අතටම පෙරළෙත
   කිමෙක වන     යහපත
   වැඩක එබැවින් යොදනු තම සිත

03.

   කටයුතු කිරීමය
   නොකටයුතු     නොකිරීමය
   අණ පිළිපැදීමය
   මෙතුන් ගුණ දියුණුවේ මගමය

04.

   මොරන වී කරල
   නැමෙයි රස වැඩිවෙන කල
   නුවණ මෝරන කල
   එමෙන් දරුපෙළ නැමෙයි මනකල

05.

   බඩු පිරෙන තරමට
   ගිලෙයි නැව සමුදුර පිට
   ඉසුරු වැඩි වෙන විට
   උඩඟු නැති අය පවති එලෙසට

06.

   කසල ගොඩ තිබුණත්
   මැණික් අනගිය සිරිමත්
   එමෙන් සුලුදන පුත්
   උතුම් වෙයි හොඳ සිටිත් දැරුවොත්

07.

   නමින් පටබැන්දත්
   රනින් රුවනින් දිලුණත්
   කුලෙන් රජ     වූවත්
   එයින් පල කිම සිරිත් හැරියොත්

08.

   කුලේ ඇති මහතය
   කැලේ යන බව නියතය
   බලේ හොඳ     සිරිතය
   දිලේ සඳලෙස දෙලොව    සැපතය

09.

   උසස් කුල උපන්නත්
   දහස් ගම් බිම් තිබුණත්
   පිරිස් බල සිටියත්
   උසස් නැත සිප් සතර නැතහොත්

10.

   පහත් කුල උපතත්
    නැතත් රූසිරු පෙනුමත්
   උගත් සිප් ඇතහෝත්
   පුදත් රජවරු පවා සැක නැත්

11.

   පිරෙන තෙක් විසි වස
   ඉගෙන ගැනුමෙහි සිටි යස
   පිරුණ කලතිස් වස
   තරුණ පෙළ බැබළේය ගරු ලෙස

12.

   ගුරු වදන මහිමය
   ගරු කර ගැනුම යුතුමය
   සරු බවට මගමය
   බොරු නොවෙයි පෙර මඬිහු බසමය

13.

   ගුරුන් ගුණ මහතය
   දෙගුරුන් ගුණ ද මහතය
   මෙකී ගුණ මහතය
   සැලකු අයහට මහත් සැපතය

14.

    හොඳින් හැදූ දරුවන්
   මව්පියො     වාසනාවන්
   තම මව්පිය රුවන්
   පිදූ දරුවොද වාසනාවන්

15.

    ගෙදොර සැම කටයුතු
   හොඳින් සලකා කළයුතු
   කීවට නොකළයුතු
   කරුණු සතුටින් බලා කටයුතු

16.

    නිසි පිළිවෙල රැගෙන
   සියුම් පිරිසිදුකම ගෙන
   ඇද නැති ගතිය ගෙන
   සියලු වැඩපල කරන් සතුටින

17.

    ගතහැකි දෙය වැඩට
   අහක නොදමනු කිසිවිට
   වැඩ නැති දෙය නුඹට
   දෙනුව ඉන් වැඩ ගන්න අයහට

18.

    සුළු වරද කෙරුමෙන
   මහත් වැරදිත් වෙයි දැන
   සුළු වරද සුළු මෙන
   සිතා නො ගනින් මතු බලා ගෙන

19.

    හරි දෙය වැරදි ලෙස
   වැරදි දෙය හරි දෙය ලෙස
   පිළිගැනුම තද දොස
   එයින් විපතක් වේය අපහස

20.

    කළ වරද යට කර
   බොරු බස් කියන මැරවර
   එක වරද දෙක කර
   මහත් හිරිහැර ලබයි වැඩිපුර

21.

    වරද නොම දන්නා
   කීවට පිළිනොගන්නා
   අපා ගති වන්නා
   අසයි ගුණ දොස් සුගති වන්නා

22.

    කිසිවක් පටන් ගෙන
   එහි හරි වැරදි ඇසුමෙන
   පලක් නැති බව දැන
   අසනු මුලදිම හිතැති අය ගෙන

23.

    තම අත තම හිසට
   අන් අත නොවෙයි හැම විට
   නිතින් එය සිහි කොට
   කරනු වීරිය හොඳින් හැදුමට

24.

    තම දොස මෙහෙවර මෙන් ගොඩ වූවත්
   අන් දොස අබ ඇට මෙන් සුළු වූවත්
   තම දොස නොපෙනී අන් දොස පවසත්
   එම දොස මහ විපතින් ඔහු වැනසෙත්

25.

    තම ගති නුහුරට පමුණගත් විට
   එළඹෙති විගසට හැම දොස සත හට
   හොඳ ගති නරකට හැඟීයයි ඔවුනට
   හිත ඇති අයහට නුරුසත් එම විට

26.

    අනුන්ගෙ යසසට මසුරු කෙරේ නම්
   තමන්ගෙ යසසට මයි අනතුරු නම්
   තමන්ගෙ පණකොට ලොව සලකා නම්
   ඔවුන්ගෙ දෙවිකොට පෙනෙයි තමා නම්

27.

    කළ ගුණ සලකන අය දෙවියන් වැනි
   කළ ගුණ නොතකන අය රකුසන් වැනි
   මෙම බණ දැන ගෙන සියපණ විලසිනි
   කළ ගුණ අය දැන සලකනු බැතියෙනි

28.

    මුහුණ ද අත පය සෝදා ගන්නේ
   ඔලුව ද තෙල් ගා පීරා ගන්නේ
   කිලිටු ද වැරහැලි ඇඳ නොම ගන්නේ
   හැමසඳ පිරිසිදු ලෙස සිට පන්නේ

29.

    දොරකඩ ඉඳගෙන කතා නෙවන්නේ
   එළිපිට සිටගෙන රෙදි නාඳින්නේ
   ගෙන්පිට සිටගෙන හිස පීරන්නේ
   අවරණ ඇති තැන නිදා ගනින්නේ

30.

    ඉණ රෙදි අඳිමින් පාරෙ නොයන්නේ
   රෙදි හඬ නගමින් පා නොතබන්නේ
   තමරුව බලමින් උඩඟු නොවන්නේ
   හැඩ නිල බලමින් ගමන් නොයන්නේ

31.

    රේස් ගොනුන් බැඳගෙන     නුදුවන්නේ
   පොර කුකුළන් ගෙන පොරට     නොයන්නේ
   දුව පනිමින් ලොතරැයි         නොකරන්නේ
   අයුතු මගින් සෙල්ලම්         නොකරන්නේ

32.

    පාරෙහි තැන තැන කටු     නොතබන්නේ
   කඩුලු තිබෙන තැන උල් නොතබන්නේ
   සතුන් යනෙන තැන මදු     නො තබන්නේ
   ඉන් ඔවුනට වන දුක     සලකන්නේ

33.

    ඉරටි කෙමෙන් හැදුමට     නුදුවන්නේ
   බිලි බාමින් තැන තැන     නොසිටින්නේ
   දුවපනිමින් හුලුමන්     නොකොටන්නේ
   බොර කරමින් වලවල්     නොඉසින්නේ

34.

    යහපත් වැඩ ඇති තව අහපන්නේ
   වැදගත් අය දැක නම්බු කරන්නේ
   දුටුවන් මගකදි සිට නැමියන්නේ
   කීවත් 'තෝ', 'බොල' තරහ නොවන්නේ

35.

    අනුන්ට බුහුමන් දී සලකන්නේ
   තමන්ට බුහුමන් ලැබෙයි එයින්නේ
   අනුන්ට තම වංසය කියමින්නේ
   ලබන්ට නම්බුව නොසිතාපන්නේ

36.

    එක ම වැඩක නිතරම නොයෙදෙන්නේ
   වෙන ම වෙන ම වැඩ සලකා ගන්නේ
   පෙනුම ඇතුව හොඳ වැඩ කරපන්නේ
   තරම නොදැන වැඩකට නොබසින්නේ

37.

    දුදනන් දැකලා මඟ හැරපන්නේ
   සුදනන් දැකලා මඟ නාරින්නේ
   උතුමන් දැකලා දුන් බස ගන්නේ
   ඉහළින් පැනලා බස් නොකියන්නේ

38.

    උතුමන් ඉදිරියෙ කෙළ නොගසන්නේ
   ඉඳිමින් එහි පා දිගු නොකරන්නේ
   එලෙසින් ඉඳ ඈනුම් නාරින්නේ
   සියතින් එලෙසම හිස නොකසන්නේ

39.

    ගතු ඇසු පමණින් බාර නොගන්නේ
   සිතු ලෙස සොයමින් අදහා ගන්නේ
   ගතු බොරු කියමින් ලොව නොනසන්නේ
   සිතු දොස තරමින් තම නොනැසෙන්නේ

40.

    බයෙන් තැවුල් අය ළඟ නොනිදන්නේ
   දිරූ ගෙවල් ගස් ලඟ නොසිටින්නේ
   පාළු ගෙවල් ළින් ළඟ නොසිටින්නේ
   දෙමැද දවල් තනි මග නොමයන්නේ

41.

    මල මූ ඇති තැන අවරණ වන්නේ
   තැන තැන සිටගෙන නුසුදුසු වන්නේ
   මග වෙත ඉඳ ගෙන නොහොබි සිතන්නේ
   කී විදි දැන ගෙන පිළිපැදපන්නේ

42.

    කෑමක් යමෙකුට සතුටින් දෙන්නේ
   පෙනුමක් ලෙස නිසි බඳුනක දෙන්නේ
   කෑමක් කන තැන කෙළ නොගසන්නේ
   තරහක් වී එහි කෑ නොගසන්නේ

43.

    සුරුට්ටු බීමෙන් හදවත විස වෙයි
   ඇඟපත දිරුමෙන් කට ගඳ ඇති වෙයි
   මත් ගතිවීමෙන් නුවණ ද අඩු වෙයි
   කැස්සද සැදුමෙන් ආයුස කොට වෙයි

44.

    දුම්කොළ හැපුමෙන් දත්මුල් කුණු වෙයි
   කටගඳ වීමෙන් වස පිළිකුල් වෙයි
   කෙළ වැගිරීමෙන් දිව රස අඩු වෙයි
   බල අඩු වීමෙන් සිහිය ද මඳ වෙයි

45.

    බුලත් විකීමෙන් දත්මුල් කැත වෙයි
   දිව රළු වීමෙන් හඬ අමිහිරි වෙයි
   කට කැත වීමෙන් ඇඳුම් ද කැත වෙයි
   වැඩ පසු වීමෙන් කාලෙ ද නැති වෙයි

46.

    මත්පැන් බීමෙන් ලේ කෝපය වෙයි
   වෙරිමත් වීමෙන් සිහි විකලය වෙයි
   බල අඩු වීමෙන් නෙත ලෙඩ ඇති වෙයි
   දුප්පත් වී මෙන් අකල් මරණ වෙයි

47.

    ඇත්ත නැත්ත නැති ඇති කර පැවසීම
   සත්ත නොවන බස වෙයි ඒ බොරු කීම
   පැත්ත උතුම් වැනසෙයි ලොව දොසින් එම
   ඇත්ත නිතර පවසනු දොලොවෙහි මහිම

48.

    කෑමට බොහොම පළතුරු ඇත තැනින් තැන
   සැපයට නිතර හිත වෙයි ඒ රස බොජුන
   ලොබ කොට සතුන් නො මරනු මස් කෑම ගැන
   සතහට දුකක් දී තම රැකෙනු ද යෙහෙන

49.

    දුක් ගෙන දනෝ රෑ දාවල් වෙහෙසෙමින
   සපයන දෙයට ලොබවෙති සැප පතා ගෙන
   සියපණ ලෙසට සලකා එම දනන් ගැන
   පව් දැන සොර සිතින් නොගනුව එකී දන
50.     බීමට අපට පැන් ඇත මිහිපිට සොඳට
   සැපයට සිතා මත්පැන් විස බොනු කුමට
   වද යට දොලොව පැමිණෙයි ඒ පව්කමට
   ලොබ කොට නො බොනු මත් පැන් කිසිකල සැපට

51.

    ලොබකර දන මිලට දියුණුව පතා ගෙන
   ගොරතර අවමඟට තුන්දොර නමා ගෙන
   කරදර අන් අයට කරමින් තැනින් තැන
   හිරිහැර සූදුවට නො බසිනු අවැඩ දැන

52.

    හිසකේ විදාගෙන යම් තැනකට නො යමී
   හිසකේ විදාගෙන උතුමන් වෙත නො යමී
   හිසකේ විදාගෙන දොරකඩ නොම ඉඳිමී
   හිසකේ විදාගෙන සබමැද නොගැවසෙමී

53.

    මසුරු ගුණැති නො සිරිත් අය සැම වර
   සිදුරු සොයති ගුණවත් අය දැක පවර
   සොඳුරු ගුණැති යහපත් අය කිසිම වර
   මසුරු නොවෙති ගුණවත් අය දැක පවර

54.

    නොසිරිත් ලෙසට කල් අරිනා අය නිතින
   හරහත් යසට හැසිරෙන උතුමන්ට බැන
   ගුණවත් අයට දොස් පවරා පව් නො ගෙන
   යහපත් ලෙසට හැසිරෙනු උතුමන් ඇඳින

55.

    සොඳ ගුණ කියා පෙරමුණ බැහැරට ගොසින
   ඇති ගුණ මකා නැති ගුණ ලොව පළ කරන
   යස ගුණ මකා අවගුණ සිරිතට හැදෙන
   මොහු ගුණ බලා බේරෙන ලෙස ගනු ඇඳින

56.

    සතුටින් යමෙකු කෑමක් දුන් විට බැතින
   කියමින් එහි දෝස කනු හොඳ නැත පෙනුන
   එලෙසින් අනුන්ගේ දේවල් කිසිත් ගැන
   සොයමින් දෝස කීම ද නොහොබී සිතින

57.

    අනුවණ උඩඟු අයගේ ගතියක සැටිය
   ලැබගෙන පිහිට උතුමන් නොතකන සැටිය
   දෙ නුවන විලස සලකා වැඩු ඇති සැටිය
   සසොබන මහතුන්ට එම සලකනු වටිය

58.

    හිත ඇතියන් දෙන බස් නො අදහන සත
   තම සතුරන් සිත් තොස් වඩවයි සතත
   අවගතියෙන් ගුණ දොස් නොදැනෙයි නියත
   එම විපතින් සැම දොස් පැමිණෙයි සියත

59.

    දෙගුරුන් ගුරුන් දුටු දෙවියන් ලෙස සිතමු
   උතුමන් බසින් ඉටු දෙවියන් දැන ගනිමු
   එබැවින් නිතින් මේ දෙවියන් වැඳ ගනිමු
   බැලුමෙන් හොඳින් ගුරු දෙගුරුන් රැක ගනිමු

60.

    මවුපිය ගුරුන් වැඩිහිටියන් උතුමන්ද
   පැවිදි උතුමන්ද සිල්වත් සුදනන්ද
   සැළකිය යුතු මෙකී අය ඉදිරි එන සද
   වඳිනු ය නැගිට ගරු බුහුමන් ලෙස පැහැද

61.

    වැඩුනොත් යමෙක් නිසි ගුරු අවවාද ගෙන
   සැපවත් කෙනෙක් වනු නියතයි පඬි වදන
   එපවත් සිතට ගනිමින් දියුණු වන මෙන
   යහපත් ලෙසට හැසිරෙනු ගුරු වදන ගෙන

62.

    සමා සිත් වේවා
   හැමා දොස් දුරු වේවා
   මෙමා සිතු වේවා
   ළමා පෙළහට ජයක් වේවා