Talk:කුමරියක පාසළඹ සැලුනා

From Wikisource
Jump to navigation Jump to search

මේ ගේය පදරචනය ට බොහෝ තැන්හි සැපැයී ඇති අරුත්-නිරුත් පිරික්සීමේදී අපට පෙනීයන්නේ ඉන් බොහොමයක් ම මහත් සේ ඕලාරික මෙන්ම අසරණ හීනමානී බොල් මනස්ගාත ගොන්නක් පමණක් වනබව යි. මේ සැපැයුම්කරුවන් අතර, මින් කලකට පෙර දී බී.බී.සී. ලෝක සේවය (සිංහල) ඔස්සේ විකාශය කරන ලද "සංදේශය" ගුවන්විදුලි වැඩසටහනේ "ගී මිණි ආර" නම් වූ විශේෂාංගයෙන් ගී ඇගැයුම් ගෙනා මහාචාර්‍ය සුචරිත ගම්ලතුන් (අද ඔහු අජීවමාන බැවින් පුද්ගලික විවේචන මෙහි නොහොබී) ප්‍රමුඛයා විය. එකල ඔහුගේ ඒ විවරණ 'සිළුමිණ' පුවත්පතෙහි ද ඒ ආකාරයෙන් ම පළවිය. අනෙකකු වන්නේ උපුල්ශාන්ත සන්නස්ගල මහතා ය. 'සන්නස්ගල' සහ 'ගම්ලත්' පිලිබඳ "හොරා සහ හොරාගේ අම්මා" නමින් පර්යේෂණ කෘතියක් ලියා පළකරන්නට තරම් වටිනා කරුණු (මෙකී කරුණු සාහිත්‍ය හා සිනමා විචාර මෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධව ද අදාළ වෙයි) තිබෙයි. මේ මනරම් ගේය පදරචනාව සම්බන්ධයෙන් අද පැතිර පවත්නා දුර්මත බොහෝමයක ට පදනම් ව ඇත්තේ ඔවුන් දෙදෙනා විසින් ගෙනෙන ලද (අ )විචාරයන් ය. එකී දුර්මත කිළුටෙන් මේ සොඳුරු ගී සිත්තම පිරිපහදු කරන්නට යමෙකුට හැකිනම් ඒ මහත් පිනකි. එළඹී සිහියෙන් යුතු කවරකුට වුව පහසුවෙන් වැටහී යා යුතු දෑ වන්නේ, සැබවින් සිදු වූ ස්ත්‍රී-පුරුෂ කාය සංයෝගයක් ගැන උක්ත ආමන්ත්‍රකයා (පද රචකයා) එහි කිසිවක් කියා නැති බවයි. පුරුෂෝත්තම ආර්‍ය සංස්කෘතිය තුලින් නැගී අකෝටික මනස ඔහුට ගුරුවෙයි. "කුමරියක පා සළඹ" යැයි කියැවෙන විට ම අර අනාචාරීන් ගේ වලිගය පහත් වෙයි. "සැලුනා" කියද්දී එය පෑගෙයි. මෙයින් මේ පුරුෂයා අපට කියන්නේ ඔහුගේ මනසෙහි 'ස්ත්‍රී නිමිත්ත' පහළවූ බව මිස සැබැවින් සැලුන පා සලඹක් ගැන නොවෙයි. 'කුමරිය' යන වදන ම ස්ත්‍රීත්ත්වය ඇඟවීමට ප්‍රමාණවත් වුව ද 'පා සළඹ' යෙදීමෙන් එය තීව්‍ර කෙරෙයි. 'සැලුනා' යන්නෙන් අදහස් කෙරෙන්නේ (මනසට) උක්ත වූ බව නොහොත් 'නිමිත්ත' වූ බවයි. සාමාන්‍ය චරිතස්වභාව අනුව ස්ත්‍රීලෝල නොවූ ඔහුගේ මනසට ආගන්තුක ව නැගුනා වූ මේ 'ස්ත්‍රී නිමිත්ත' මඟින් (ඔහුගේ) පුරුෂෝත්තම අභිමානය බිඳවට්ටන ලද ආකාරයයි ඊළඟට කියවෙන්නේ. ඒ මෙසේය; "වසා සිටි නෙතු පියන් අරුනා. කුමර-බඹසර අසපුවේ මා සමවැදී උන් දැහැන් බිඳුනා".


"උකුළ, ළැමහස, මලවි කරළිය මුවාකළ ඇගේ දුහුල් සළු තිර විවරකෙරුවා මනස් සලෙළුන් උමතු වූ දෙනුවන් රැහැන් ඇද. මා අභියස මැවෙන තුසිතය, සුරන් නැලවූ සුයාමය"

කිසිදා ස්ත්‍රියක් හා නොවැසූ ඔහුට තම බිඳවැටුණ මනස (මේ බව තාම ඔහු නොදනී) විසින් කම්රතිඅනුන නාරි දේහය වැසූ සළු විවරකොට දක්වන ලද්දේය. (ඇගේ) උකුළු තලය, ළමැද රැඳී හංසයන් බඳු පයෝධර මෙන්ම අනඟ රඟ පියස ද උමතුවෙන් වැසූ දෙනෙත් ඇති ඔහුගේ සළෙළු මනස, දිව්‍යාස්වාදයෙන් ඉඳුරන් මුසපත්කරමින් මවා පෙන්වූ ඒ විරාමය කොපමණ සුන්දරද!

හැඟීම් (කෙලෙස්) යටපත් කිරීම සහ නැසීම යනු එකක් නොවන බව සැබෑය. නැසුනහු පණනොගසති. වීරියෙන් යටපත්කරනලද්දෝ ඉඩක් ලද ඇසිල්ලෙහි යළි නැගීසිටිති. එය යටපත්කළාහු හට නිගාවෙකි, පසුතැවුමට හේතුවකි.

"නිසල ජීවන තපෝවන මැද, හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද, තලා සිඳ කම්පනය කරවයි ලපලු තුරු-වැල් කැකුළු මල්පෙති"

සන්සුන්ව සිටි ඇත් සේනාවක් (මදයට පැමිණීම නිසා) තපෝ වනයක ගහකොළ තලමින් වනසමින් පෙරලිකරන්නාක් මෙන් මෙතෙක් කලක් මහත් ප්‍රයාසයෙන් මැඩගෙන හික්මවාගෙන තිබු (ක්ලේශිත) හැඟීම් ගුගුරා නැගීම හේතුවෙන් නිශ්චල පෙවෙත සසල විය.

"මා හඬවයි බිඳුණු තුසිතය, සුරන් නැලවූ සුයාමය"

මහත් ගර්වයෙන් රැක රැගෙන ආ පුරුෂෝත්තම අභිමානය, සුලළිත (දුබල) ස්ත්‍රීත්ත්වය අභිමුව බිඳ වැටී ඇති බව වැටහෙනවිට අහෝ! පමා වැඩිය. පරාජයට උරුම ලජ්ජාවත්, පසුතැවීමත් ඉතිරි වූ කල නොහඬා, අන් කුමක් කරනුද?